ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

July 31, 2011

අදත් නුඹ ලෙඩින්

එදා වගෙ අදත් නුඹ ලෙඩ වෙලා
එදාටත් වඩා මං තනි වෙලා
එදා ලඟ හිටිය මං නැති වෙලා
'ලෙඩය' නුඹ අපව යළි එක් කලා

දුරින් හිටියමුත් මං වෙන් වෙලා
හිතෙන් නුඹ ලඟයි ලඟටම වෙලා
ලෙඩ'වු කළ නුඹට මා සිහි වෙලා
මම ද දුක් වීමි නුඹ තනි වෙලා

මගේ ආලෙ නුඹ සිහිකර මෙදා
කතා කළේ දුක් හඬකින් මෙදා
ඇඬුම් ඇසුනු විට ගන්නට බදා
ලඟින් නුඹ නෑනෙ හැඬුවෙමි එදා

ලඟින් ඉඳ හොඳින් සලකනු හිතයි
එන්නෙ කෙලෙසින්ද හිත දැන් අසයි
ලෙඩින් සිටි අයුරු මට සිහි කරයි
ගෙවුනු වසරෙ නුඹ සිටි'යුරු හිතයි

ආදර බස් අද නොකිවද මෙමා
දමා යන්නෙ නැත නුඹ හැර දමා
පිටින් පේන රළු පෙනුමෙන් මෙමා
නුඹට බැඳි පෙමේ නොම වී නිමා

කාලය ගත වෙලා

කාලය ගත වෙලා
එදා තිබුණු දේවල්
තිබුණු තැනක්වත්
අද දකින්න නෑ
ආස වුනත් දකින්නට
ඒ දේවල් අදත්
කොහොම යන්නද
අතීතයට,
හීනෙකින් මිස?

කාලය ගත වෙලා
කළ කී දේවල්
ඡායාවක් වගේ
මතකෙන් ගිලිහිලා
කළ දෙයක් නැති තරම්
කරන්න දේ තිබුනත්
අනාගතේදී ඒවත්
බොඳ වුනු
ඡායාවන් වේවි

කාලය ගත වුනත්
තවමත් අපි
වර්තමානයේ දවසක
අනාගතේ ගැන
හීන දකිමින්
දුකින් වෙළේවි
ඒ හීන
හැබෑ නොවුනම
අනාගතේ දවසක

July 25, 2011

ඇයි ඇති කළේ සැකයක්?

වෙනස් වුනේ මම නොව නුඹ පමණක්මයි
එය වැටහුනේ හැරෙනා විට මට පමණයි
කතා බහත් අඩු වී ගියෙ නුඹෙ පමණයි
මට අමතන්නට නුඹ මැලි වූයේ කිමැයි?

කිසි ඇමතුමක් නෑ ලැබුනේ නුඹෙන් මට
වෙනදා ලැබෙන ඇමතුම් කීපයත් මට
ඇයි අඩු වුනේ දුන් ඇමතුම් කියන් මට
නින්දට ගොස් කතා කලේ නුඹ කාට?

යාළුවො එක්ක මහ රෑ නුඹ ගමන් ගියේ
මට පැවසූ අයුරෙන්මද කියන් සඳේ
විමසූ විටදි නුඹ මිතුරන් මට කීවේ
ඔවුන් නොගිය බව වෙන අය ගිය ලෙසිනේ

යාලුවො ඇත්ත බොරු කර කීවාද කියන්
මා ඇත්තක් බොරු සැකයෙන් ගන්ද කියන්
නුඹෙ නම්බුව රැක ගන්නට ඈත් වෙයන්
යළුවො ලොකුද නුඹ හට මට වඩා කියන්

සිදුවුනෙ කුමක්දෝ නෑ මට වැටහෙන්නේ
ඇත්තද බොරුද නුඹ මා හට වසන් කළේ
කාසි නිසාදෝ නුඹ මා ලඟ සිටියේ
කාසි හිඟ වෙද්දි ඇසුරත් අඩු කෙරුවේ

දෙන්නට තිබේ අද මා අත කාසි පනම්
ගන්නට කෙනෙක් නෑ නුඹවත් ඉන්නවනම්
යන්නට ගොහින් නෑ මට දැකගන්න වරම්
ආයෙත් එන්නෙ කවදද මා නුඹෙන් අසම්

මා නැති අදත් නුඹ කොහි යනු නොදනි මම
කවුරුන් කෙසේ ඇසුරු කරන්නේද වග
කෙලෙස දිවි ගෙවන්නෙද යත් නොදත් මම
මනස්ගාත ගින්නෙන් සිත දවයි මම

නුඹ නුදුටු මගේ මතකය

අටළොස් මසක් ගත විනි ඒ දිනේ පටන්
ඇරඹුණු දා පසුගිය වස දුරුතු ඉඳන්
සොළොස් මසක් ගත වූ තැන දිනේ පටන්
දෙමසක් ගත විය වෙසඟේ පොහොයෙ ඉඳන්

හිතුවා යන්ට නුඹ සමගින් පන්සලට
වෙසඟේ සිරිය නරඹන්නට කොළඹ වට
එය බැරි වුනා සපුරන්නට නුඹට මට
යන්නට ගියා නුඹ මා හැරදා දුරට

උපන් දිනේ විය මාගේ මැදින් මස
කීවා නුඹත් ගත් බව තිළිණයක් මට
එය දැක ගන්න ආසාවෙන් හිටිය මට
ලැබුණේ දුකකි තිළිණයකින් වෙසක් මස

වෙසක් මහේ තිබුණේ නුඹෙ උපන් දිනේ
බෝම තිළිණ දුන්නා මා ගිය වසරේ
දෙන්න තෑග්ගක් නුඹ හට මෙවර සඳේ
නොමැති වීය සතයක්වත් මගේ අතේ

ලෝබකමක් නොව මා හට ඇති වූයේ
නුඹට දුන් නිසයි මා සතු පනම් අතේ
හේතුව තිබේ නුඹෙත් මගෙත් සිත් ඇතුලේ
තිළිණ නුදුන්නට තරහා නොවෙන් ප්‍රියේ

දෙමසක් පිරිණි නුඹ නොමැතිව මගෙ දිවියේ
වෙන අන් අයෙක් හට මා සිත දිව නොගියේ
නුඹට බැඳි පෙමයි එය වලකා ලූයේ
ඉන්නෙම් තනිව මා නුඹ සිර කරන් ලයේ

July 21, 2011

හැමදාම මම වැරදිද?

මේ නිසඳැස 'චතුරගේ මතක අහුර' බ්ලොග් අඩවියේ පලවූ 'උඹේ යාළුකම' ලිපියට මා විසින් පල කරන ලද කොමෙන්ටුවකි.

ආස නැතත්
උඹේ බැනුම් අහගෙන
පැය ගණන් හිටියා
ස්කයිප් එකේ
තනියම නෙවෙයි
දෙන්නම එකටයි
කාටත් වල් කතා කීවේ
නිකමට නෙවෙයි
ජොලියක් ගන්න

කැඩුනු හිංගල
කතා කරන
යාලුවො හිටියට,
උන්ව ලොකු වෙන්නෙ
උන්ගෙ අඩවියෙදි
ඉද්දි විතරයි කියලා
දන්නෙ මම විතරයි

කොට කලිසමක් නැතත්
ඩෙනිමක් ගහල
එම්.සී. එකේ රවුම් ගැහුවේ
තනියම නෙවේ
යාළුවො එක්ක
වෙන එහෙකට නෙවේ
හිත සතුටු කරගෙන
දුක අඩු කර ගන්න

මහන්සියෙන්
හම්බ කරපුවට
පිං අත් වෙන්න
අද ඒව
වියදම් කරාට
හෙට ඒව
නැති වෙන බව
දන්නවා මම හොඳට

උඹේ ප්‍රශ්ණ අහන් ඉඳලා
හිතට සැහැල්ලුවක් ගන්න
උඹට දසමෙකින් හරි
උදව් කළ මම,
අද උඹට
පසමිතුරෙක් වුනේ,
එදා ඉන්ග්‍රීසියෙන් දොඩද්දි
උඹ පොශ් කියල
විහිළුවට කීව නිසාද?

මට නොරිස්සපු
උඹේ අඩු පාඩු
කටින් නොකීවට
ලියල කිව්වේ,
අනුන් එක්ක
සසඳලා නෙවේ
එහෙම බැලුවම
මම විතරද වැරදි?

එන්න ආයෙම

මං නැතුව ඔයා හිටියට
ඔයා නැතුව මං ඉන්නේ
මිහිපිට අපායක බව
ඔයා දන්නේ නැතුව ඇති

මෙහෙම ලීවට
නවකතා නොබලන මම
බොලඳ වචනින් කියන්නේ
මට ඔයා නැතිව දැනෙන
පාලුවයි, දුකයි

කාගෙවත් කීමට
මං රැවටුනාට
මට කරපු ආදරේ වෙනුවෙන්
මං කරපු ආදරේ ගැන
යන්න කලින් එක මොහොතක්
හිතුව නම්
අදටත් අපි එකට

මං වැරදි කලත්, ඒ
ඔයා නැති වේවි කියල හිතලම
ඒත් අද ඔයා
යන්නම ගිහින්
සතුට හොයන්
මාව තනි කරලා


අනේ ආයෙත් එන්න
සොලොස් මස් පෙම
තව දිගු කලක්
ගෙනියන්න
දෙතැනක උන්නත්
තනියෙන් නෙවේ
සිතින් එකට

ඔයා නැතිදා එදා මතකය

මතකද ඔයාට
අපි මුණ ගැහුණු වෙලාවට
ඔයා මං දිහා
ආදරෙන් බලපු හැටි?
අදටත් ඒ දවස්
මතකයි මට
ගලේ කෙටුවා හා සමානව
ඔයාටත් එහෙමද?

මතකද අපි ඇවිද්ද හැටි
ගොඩක් දුර එකට?
ඔයාව සතුටු කරන්න
ඕනෑ එපාකම් ගන්න
පිස්සෙක් වගේ
මම කරපු කියපු දේවල්
මතකද ඔයාට
මට අමතක නැතත්?

ඔයා ආසයි නේද
පොත් කියවන්න?
ආසයි මාත්
පොතක් අරන් දෙන්න
මතකද ඔයා ගත්තා
පොත් ගොඩාරියක්
සැප්තැම්බරයේ?
ඔයා නිසා මාත් වුනා
පොත් ගුල්ලෙක්

මං කවියෙක් නෙවේ
ඒත් ඔයාට තිබුණු ආදරේ
මාව එහෙම කළා
මතකද ඔයාට
මං ඔයාට දෙන්න
ගත්තු පොත් වල
ඔයා වෙනුවෙන් කවි ලීවා?
මතක නම් කියන්න
ඒවායේ තිබුණු ආදරේ තරම

July 18, 2011

බිඳුනු නිශාන්තයේ හසරැල්ල

සිහිවේ නුඹව තවමත් මා මනැස තුල
වෙන්වී මගෙන් වේ දෙමසට වඩා කල
ඉන්නේ කෙලෙස නුඹ මා සිහි නොකරමිණ
හැකිවෙද බිඳක් මා ගැන සිහි කරලන්න

ආලය මතක් වෙනවා මා නුඹට කළ
දෑස් නොදැනි තෙත් වෙනවා එකෙනෙහිම
යන්නට දුරක් ඇත මා හට නුඹ නැතිව
හැකිවෙද නුඹට යන්නට එනු මා සමග

වෙසක් පොහෝ දා මා යළි අවදි වුනත්
තිබු හැම ගැටළු අමතක කර ඉන්න සිතන්
නුඹ ගැන සෙවූ වරදට මට නුඹේ අතින්
ලැබුනේ දුකකි සදහට තිළිණයක් ලෙසින්

මා ගෙවු දුක දන්නෙ මා පමණයි ප්‍රියයේ
නුඹ හට පෙම් කළේ ඒ බව සඟවමිණේ
මා හැර අන් අයෙකු මෙපමණ පෙම් කෙරුවේ
නැති බව නුඹ ම මට පවසා නැතිද ප්‍රියේ?

ගන්නට නොහැක දුර ඇමතුම් මහට අද
රිදවනවා එය මගෙ හිත වැටහේද?
ගන්නට අවසරයි නුඹ හට කැමති විට
මා හට ඇමතුමක් නුඹ හට සිහිවේද?

නැති විට නුඹේ කට හඬ මට ඇහෙන්නට
නැති විට සිනා මල් ආයෙත් දැක ගන්ට
නැති බව දැනෙන විට ආයෙත් දැක ගන්ට
ජීවත් වෙන්න බෑ මට තව ඉදිරියට

කාලය හෙමින් නෙත් ඉදිරියෙ වැළලෙනවා
මා ගැන නුඹේ මතකය ගිලිහී යනවා
හදනට බිඳී ගිය හද මා දඟලනවා
හැදුවත් බිඳි කැළැල් එහි පසු මතු වෙනවා
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.