අදත් නුඹ ලෙඩින්

එදා වගෙ අදත් නුඹ ලෙඩ වෙලා
එදාටත් වඩා මං තනි වෙලා
එදා ලඟ හිටිය මං නැති වෙලා
'ලෙඩය' නුඹ අපව යළි එක් කලා

දුරින් හිටියමුත් මං වෙන් වෙලා
හිතෙන් නුඹ ලඟයි ලඟටම වෙලා
ලෙඩ'වු කළ නුඹට මා සිහි වෙලා
මම ද දුක් වීමි නුඹ තනි වෙලා

මගේ ආලෙ නුඹ සිහිකර මෙදා
කතා කළේ දුක් හඬකින් මෙදා
ඇඬුම් ඇසුනු විට ගන්නට බදා
ලඟින් නුඹ නෑනෙ හැඬුවෙමි එදා

ලඟින් ඉඳ හොඳින් සලකනු හිතයි
එන්නෙ කෙලෙසින්ද හිත දැන් අසයි
ලෙඩින් සිටි අයුරු මට සිහි කරයි
ගෙවුනු වසරෙ නුඹ සිටි'යුරු හිතයි

ආදර බස් අද නොකිවද මෙමා
දමා යන්නෙ නැත නුඹ හැර දමා
පිටින් පේන රළු පෙනුමෙන් මෙමා
නුඹට බැඳි පෙමේ නොම වී නිමා

Comments

  1. කවි වලින් කතන්දර මවන එක ලේසි නැහැ..ඔයා නම් ලස්සනට පද ගලපලා ..එල ලියන්න ..එනවා කියවන්න..

    ReplyDelete
  2. හුඟ කාලෙකින් මමත් කවි ලියන්න ආයෙම පටන් ගත්තේ. මේ දවස් ටිකෙත් කවි ලියුවා, ඒත් කියවන්න කවුරුවත් එන පාටක් නෑ කියල හිතේ පොඩි කණගාටුවකුත් තිබුනා. හුඟ කාලෙකින් ඔයාගෙන් ආපු මේ කොමෙන්ටුවට ගොඩාක් ස්තූතියි. ඔව්, කවියෙන් කතාවක් ලියන්න අමාරුයි තමයි. ඒත් මම කවි කාරයෙක්වත්, සිංහල ආචාර්‍යවරයෙක්වත් නෙවෙයි.

    මේ කතාව දැන ගන්න නිශාන්තයේ හසරැල්ල ගොනුවේ මුල ඉඳන් කවි ටික කියෙව්වොත් කතාවම දැන ගන්න පුළුවන් වේවි. හැබැයි මෑතකදී නම්, ඒ කියන්නේ මීට මාසයකට උඩදී, මාස 5ක 6ක කාලෙදී කවි ලියවුනේම නැති තරම් ඒ කතාව ගැන.

    ස්තූතියි මේ පැත්තේ ආවාට.

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.