ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

August 29, 2011

ඉන්නට හැකි නම්

නුඹගේ කට හඬ නෑහෙන ලෝකෙක
ඉන්නට හැකි නම් දුරස් වෙලා
මාගේ මතකය වද දෙන තරමට
මිලින වෙලා යමි ලොවෙන් මෙමා

නුඹෙ රුව දැකුමට එන්නට සිතුවද
හිත නෑ කිසි ලෙස ඉඩ දෙන්නේ
හමු නොවුනත් අප නොම දුටුවත් අප
මා සිත නුඹෙ රුව මැවී තියේ

කඳුලැල් නොසැලෙත දෑසින් මා අද
ඉකි බිඳ හැඬුමට පෙර මෙන්නේ
අපෙ මතකය මා දැව්වත් නිති අද
එය පමණයි යලි දිරි දුන්නේ

August 25, 2011

නුඹයි මා හද කින්නරාවී

මාගේ තෙවැනි ගීත නිර්මාණය ලෙසින් මේ පැදි පෙළ ආදරයේ විරහව පදනම් කරගෙන රචනා වූවකි.

බිඳුනු පෙම් හද සොවින් තැවෙමින්
නුඹේ රුව මම මතක් කරමි
නැතේ කිසි දින මැකී යන්නේ
නුඹයි මා හද කින්නරාවී

දැනේ මද නල හමා යන විට
නුඹේ සුවඳැල් සමීරේ...
එදා මෙන් මා සිපමි නලලත
සිටී නම් නුඹ සමීපේ...

බිඳුනු පෙම් හද...

දකී මිහිදුම් වළාවෙන් වැසි
පිය මිනූ තැන් එදා නුඹ මා...
පිරී නෙතු අග කඳුළු කැට මිණි
නැති මෙදා නුඹ සමීපේ මා...

බිඳුනු පෙම් හද...

August 21, 2011

ආදරෙයි සල්ලියි

සමහරු
ආදරේ ආදරේට
සමහරු
ආදරේ සල්ලි වලට
සමහරු
ආදරේට සල්ලි දෙනවා
සමහරු
සල්ලි නිසා ආදරේ කරනවා
සමහරු
සල්ලි වලට ආදරේ කරනවා
සමහරු
ආදරේ සල්ලි වලට ගන්නවා
සමහරු
ආදරේ සල්ලි වලින් මනිනවා
සමහරු
ආදරේ නාමෙන් සල්ලි ගන්නවා
සමහරු
සල්ලි වලට ආදරේ කැප කරනවා
සමහරු
ආදරේට වඩා සල්ලි අගය කරනවා
සමහරු
ආදරේට වඩා සල්ලි ගැන හොයනවා
සමහරු
අදරේ වෙනුවෙන් සල්ලි කැප කරනවා
සමහරු
ආදරේ වෙනුවෙන් සල්ලි අත හරිනවා
සමහරු
ආදරේ බොරුවට; සල්ලි ඕන නිසා
සමහරු
ආදරේ කරන්න සල්ලි හොයනවා
සමහරු
ආදරේ නවත්වනවා සල්ලි නැතුව
සමහරු
ආදරේට සල්ලි නිසා ගරහනවා
සමහරු
ආදරේ නෑ සල්ලි නැත්නම්
සමහරු
ආදරෙයි සල්ලි නැතත්
සමහරු
ආදරෙයි හැමදාටම

August 20, 2011

කම්පිත මිහිකත


සසල වූයේ කිමද මිහි කත
තරහ කිමදැයි කියන් අප වෙත
ඉන්න අවසර නැත්ද මිහි මත
යන්න තැනකුත් ඉතින් අද නැත

විසිර යයි රුහි බිඳු සිසාරා
කටු ඇනී දෙපතුලෙන් රූරා
හද බිඳී ඇත පිරිස් නෑරා
කෙලෙස අසමුද වියෝ දුක් රා

බිඳුනු දෑතින් කෙලෙස ගනිමිද
අතුණු බිඳ ලොව දුටුව බිළිඳද
වාරු නොමැතිව යන්නෙ කෙලෙසද
දෙපා සිඳ වට කලට අපෙ අද

විසල් කඳු වැල් පොළොව සිපමින්
මනු දිවිත් බෝ තුරන් කරමින්
කඳුළු ගඟුලැල් ගලයි එ'සොවින්
වැදුනු සාපය මතක් කරමින්

වැහි පොදින් ඇත ගඟුල් සෑදී
මිහිය හරහා ඇදේ හඬ දී
වියැකි සැම දේ ගසා යද්දී
සෝ තැවුල් ඇත දසත පැතිරී

August 18, 2011

සල රූ මංජුසාව


සරසි දිසි දසුන් දස දස් දනන් දෙන
දකිත් නිති නෙතින් නිරතුරු බොහෝ දින
කලත් කම් පලක් යනෙනා ගමන් වෙන
ලොබින් බැඳ දමයි කරවා විකල් මන

සල රූ නැලවෙන අන්දම දකිත් නිති
හෝරා ගත වේ ඉදිරියෙ හිඳන් නිති
දකිනා දසුනින් සමහරු කැවෙයි කිති
එය නොදැනිම හැම මන අබිභවා යති

දසන් විහිද පානා රස සිනාවන්
දසුන් දැක විඳියි සැබෙවින් මුලාවන්
අසුන් වලට ඇත බෝ විට විඩාවන්
කතුන් ඇත නෙතින් බැඳ ඒ දිහාවන්

සියොත් කැල් සපිරි නුඹ දැක ගන්න ඇති
කලක් කොයි ලෙසින් සොයලා ගන්න නැති
බැඳුම් සියල්ලන් සමගින් පහව යති
සලරු මංජුසා සැම බොඳ කර දමති

ගතොත් නැණ මිසක් අන් කිසි දෙයක් නැත
සතුට සුළු පමණ ගැනුමෙන් පලක් ඇත
බැඳුම් අතැ'ර මන සල රූ කලත් මත
දුරස් වෙනු යෙහෙකි ගෙන්වා මන සැපත

පරදිසි සළු හැඳි නීල කත


නිල්වන් රුවින් සැරසීලා නිසොල්මනේ
තනියෙන් ඉන්නෙ කිමදැයි කිව හැකිද අනේ
නිය පිට නුඹ සේලේ තැබු විගසකිනේ
නිසොල්මන බිඳී සිරුරම අවදි වුනේ

බැලුමට දැකුම්කළු නුඹෙ රූ සපු දිස්නා
ඔබවා ඇත නීල වර්ණ කැට ලෙසිනා
සළුව නොවේ ඒ නිල්වන් නුඹෙ ගතිනා
රවටයි දුටුවන් එය සේලය ලෙසිනා

රැලි පෑදින නුඹ ඇඳි ඒ නීල වතේ
දිලිසේ රිදියෙන් තැන තැන නුඹේ ගතේ
ඒ ගත සිප ගන්නට බෝ දෙනා වෙතේ
නුඹ-වත ලිහා ඒ දෙන කිසිදා නොයතේ

සැතපේ බෝ දෙන සැනෙකින් නුඹේ ගතේ
සැප වේවිද නුඹ හට එය හැඟෙද සිතේ
බෝ දෙන කෙළි රඟ දෙන නුඹෙ දුහුල් වතේ
ගත සිප සේලයෙ සැමරුම් රැගෙන යතේ

රේඛාවන්ගෙන් සැරසුනු සේල වතේ
එල්ලී බැට දී සමහරු පෙරට යතේ
සේලය පිරිමදිමින් නුඹෙ ගත බලතේ
උන් ඩා දිය නුඹෙ පරදිසි වත ගනිතේ

ලිහුමට හැකිමුත් නුඹෙ ගත නීල වත
පල නැත ලැගුමෙන් නුඹෙ දිලිසෙනා ගත
ඇති විට පමණි නුඹෙ ලස්සන දුහුල් වත
ගුණ ඇති ලියක් වන්නේ සැම දනන් වෙත

August 15, 2011

ජීවිතේදි සමහරු

ජීවිතේට...
එකතු වෙන සමහරු
විවිධාකාරයි,
විෂමාකාරයි,
වෙලාවකට ගුප්තයි,
ඒ වගේම
බලාපොරොත්තු වෙන්නේ
විවිධ දේවල්...
ඒ බලාපොරොත්තු
ඒ අයට
හැබෑ කර ගන්න,
අපේ බලාපොරොත්තු
අපි,
පරිත්‍යාග කරනවා...
ඒත්...
අන්තිමට අපි,
බලාපොරොත්තු වෙන දේවල්
එකක්වත්
අපට නොලැබීම
ඒ අයව
අපට
නැති වෙලා යනවා,
ඈත් වෙලා යනවා...
එදාටයි තේරෙන්නේ
අපි,
කොයි තරම්
රැවටිලාද
හිටියෙ කියලා...

August 9, 2011

නවසිවස්තික සමාධිය


නියත මරණය ගෙනෙයි සැමටම
උපන් සැම හට වේවි අතැ'රුම
මේ කයත් ඒ තුලත් ඇති හැම
කුණප කඳු පෙම් බැන්ද නිතරම

මියෙන තූරු දිර දිරා යන කය
මියෙන යම් දින දිරයි මේ කය
ඉන්ද මතුවද දිරන මේ කය
භූමි තලයට එකතු වේ කය

මියැදුනේ යම් කෙනෙකු වේදෝ
සොහොන වෙත ගෙන ගියා වේදෝ
සිදුවෙනා විපරිතය දන්දෝ
දනී නම් සැම ලොබ වඩයිදෝ?

මිනිය ඇත අමු සොහොනෙ බිම මත
දිනෙන් දින ගත වේය ඒ ගත
නිසොල්මන වන වෙනස ඇතුලත
දකින්නට හැකි වේද අභිමත

දිනෙන් දින පසු පසට යන්නේ
වැතිර තිබු ගත තරව ගන්නේ
සිහින් උදරෙද විසල් වන්නේ
රඹ කොටන් මෙන් දිරා යන්නේ

ටිකෙන් ටික වන වෙනස මෙලෙසේ
දිනෙන් දින බෝ වේය විගසේ
නීල වර්ණය ගතේ ගැවසේ
විරූපිත තර රුවක් විලසේ

නීල තර රුව සොහොන මැද්දේ
තඩිස්සුම් හැඩ සතර පැත්තේ
රුහිරු තැන තැන විසිර ඇත්තේ
සම පැලී තැන තැනින් එ'බඳේ

පැළුණු සම් ඇති එ'බඳ මෙලෙසේ
සැරව ධාතුන් ගලයි සිත්සේ
රවාරය මුව පුරා ගියසේ
සිහින් සීරා බිමට වෑසේ

තරවු උදරය පැලී යන්නේ
අතුණුබස් සැම පිටත පැන්නේ
ඕජසින් මළ සිරුර වැනසේ
තිරිසනුන් ලොබ බඳී එහිනේ

සිඳී යයි සම් අතුණු සැලියේ
මුවින් ගෙන තිරිසනුන් වනයේ
සූපයක් රස විඳින කලයේ
මිනී කටු දැන් සමින් එළියේ

පෘෂ්ඨියෙන් පිරි තිබූ සිරුරේ
ඔද බිඳී ඕජසෙන් වැසුනේ
මුත්‍ර මල බිම් තලේ විසිරේ
සුන්වු ඇස් සම් අතුණුබහිනේ

ටික දිනක් ගත වනම එහිනේ
බත් ගොඩක් දැක ගන්න හැකිනේ
සැලිය රත්වන විටදි මෙහිනේ
පණු කැදැල් ඒ ගතින් වැටිනේ

ඔබ මොබින් එන සුළං පොදිනේ
පණු කැදැල් විසිරිලා යන්නේ
කවුඩු ගිජු ලිහිණියන් පැමිණේ
ඉතුරු සම් මස් කොටා බුදිනේ

විසික් කළ මේ කුණප පොදියේ
කීට පණු බැස නැටූ කලියේ
සිවල් ලිහිණින් බුක්ති විඳියේ
මඟුල් ලෙස ගෙන කුණප පොදියේ

දිරූ සෙස් සම් වියළි යන්නේ
හිස් කබල් කටු මතුව එන්නේ
අරටුවෙන් පිරි දරක් වැන්නේ
නිසොල්මන කටු රුවක් සැදුනේ

තවත් දින සති ගෙවී යන්නේ
කූඩු කටු ගොඩ විසිර යන්නේ
ඊට වා රොද රුකුල් දෙන්නේ
පැහැරු මළ කඳ වියැකි යන්නේ

සමින් මස් කෙස් ලොමින් වැසුනද
කටු ගොඩක් ඒ යටින් තිබුණද
පිටින් පෙනෙනා රුවක් තිබුනද
ලොබ කලත් ඉන් පලක් වූයෙද?

දිරා යන මේ කුණප පොදියට
රාග මන ලොල වැඩුම කුමටද?
සිත් දරන්නට ගතේ අනියත
වැඩුම සුභ වේ නිවන් ගමනට

අනියතයි මේ කයත් මෙලෙසින
දුක්ඛිතයි සිත් බැඳුම එබැවින
දිරුම නැවතිය නොහැක කෙලෙසින
නවසිවස්තික වේය මෙලෙසින

August 4, 2011

එකුන් විසි මස් මතක සිත්තම

එකුන් විසි මස් පිරෙන දිනයේ
ඔබෙන් ආ ඇමතුමෙන් ආයේ
මා ඇසූයේ නුඹෙන් ප්‍රියයේ
හැකිද එනු මා ලඟට ආයේ

වෙනස් වන්නට ගලක් මෙන් ඔබ
නොහැකි බව මට පැවසුවේ නුඹ
ඉන්න නිදහස් දිවිය අද නුඹ
නැවත සිඳලයි කියා මා ඔබ

වෙනස් වන්නට මටත් බැරි බව
මටම වටහා ගත නොහෙන බව
නුඹේ නිදහස නොසිඳෙනා බව
සිතා ගන්නට නොහැක මට තව

බිඳ දමා ගිය පෙමින් අප අද
දෙපොළකට වී හිඳී තනිවද
විටින් විට අප කතා කෙරුවද
මතක කෙලෙසින් මකා දමමුද?

ගතවි ඇත දෑ මසක් මේ විට
මගෙන් වෙන්වී ගොඩක් ඈතට
සිහිනයෙන් මා කියයි නුඹ හට
අතට අත දී වරෙන් ම'වෙතට

තනිව සිටිමිද එක්ව සිටිමිද
අපහසුයි ඒ බවත් සිතුමද
නුඹෙන් වෙනසක් නොසිදු වීමද
ගිල්ලවයි දුක් ගඟුලෙ මා අද

August 2, 2011

අභිසරු ලිය

මාගේ දෙවැනි ගී පද රචනය ලෙසින් ලියැවෙන මේ පැදි පෙළ විෂමාචාරී, අසම්මත සමාජයීය මාතෘකාවක් මත පදනම්ව ලියැවුනකි.

සියොලඟ දැවටෙන ඩා දිය නෑවෙන
සවස් යමේ නුඹ නිසොල්මනේ
යන්නේ කොහිදැයි කවුරුන් දන්නෙ ද
නුඹ පමණක් එය දනී ලඳේ

දුප්පත් වී ලොව එලිය දුටුවෙහි ද
ගත මුදලට නුඹ පුද දෙන්නේ
සළෙලුන්ගේ දොළ සන්හිඳුමට නුඹ
කිම සියුමැලි ගත වනසන්නේ?

දකිත් නොයෙක් අය නුඹගේ අභිනය
ආචාරය තුල නිතින් නෙතින්
මුවගින් පානා නුඹේ සිනා දැක
අයෙක් ඇදේ මසු ඉනේ බැඳන්

ගතවෙන හෝරා දෙක තුන අතරේ
රං මසු සෙවුමට නුඹත් ලඳේ
දුප්පත් මා පියො දූ දරුවන් සැම
සරදමකිය ලොව හතර වටේ

පුං ඩා දිය පිස පුයර දමාගෙන
කොයිබද නුඹ ආපසු යන්නේ
මීලඟ නැවතුම කොයිබද වන්නෙ ද
නැතිව ද දොළ නුඹෙ සංසිඳුනේ?

August 1, 2011

සුව වෙද්දි අමතක වේවිද?

ටිකක් සුව වෙන කලට නුඹ හට මාව යලි අමතක වෙලා
ලෙඩම වන්නට ඕනෙමද නුඹ මාව එතරම් කොන් වෙලා
යලිත් ඉන්නම් නුඹෙන් ඇමතුම් එන තුරා මං බල බලා
නුඹට කීවත් නැතත් අද මා සිටිමි ආයෙත් තනි වෙලා

සුවවි අද ගොස් ඇත්තෙ නුඹ සුපුරුදු ලෙසින් වැඩපළ බලා
එන්න හැකිනම් මගට මට හැක නුඹව ගන්නට දැක බලා
යන්ට ඇත මා හටත් ගමනක් උදෙන් ඇහැරී අරඹලා
කොහේවත් නොව වැඩට මිස මා නුඹව සිත තුල සඟවලා

පංති, වැඩපළ නිතර නොයමින් හොයා ආවෙමි නුඹව මම්
මීට අවුරුද්දකට මත්තෙන් එසේ වූ බව සිහි කරම්
කොහේ ගියෙතත් මගේ සිතගින් නුඹට යන්නට නුදුන් මම්
තනිව යමි හිස ලූ ලු තැන අද ලිහන්නට හද බැඳි යදම්

ලෙඩවු හින්දයි මට කතා කළෙ කියා මා එවු පණිවුඩෙන්
නුඹේ හිත රිදවුනා නම් මට සමා වෙනු සිත පතුලතින්
සැනින් ආ නුඹෙ ඇමතුමෙන් මා නොසිතු ලෙස නුඹෙ කටහඬින්
ඇසුනෙ මා සිත සනසවාලන පුරුදු අම රස නුඹෙ වදන්

කියා සිටියා මහට නුඹ නැති බවට ඇමතුවෙ ලෙඩ නිසා
ලෙඩ වුවත් නූනත් මහට නුඹ අමතනා බව නොම වසා
මනස්ගාතෙන් වැහුණු මා සිත මවන නා නා දුක් මුසා
නුඹව නැති අද මා දවාලයි දිනෙක සියොලඟ නස නසා
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.