ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

October 26, 2014

හන්තාන කඳු වැටිය

"හන්තාන කදු වැටිය
එදා වාගෙයි අදත්"

සියොලඟ ම කිළිපොලන
හැඟුම් දෙන මේ ගීය
ඇසෙන හැම විටක දිම
සිහි නැගෙයි අතීතය
හන්තාන අහියස දි
ඇරඹි ඒ පෙම් ගීය
කොළඹ දී දෙකඩ වී
දුන් වියෝ දුක් ගඟුල
නොකඩවා ගිලිහෙනා
කඳුලු බිඳු තර කරන
නුඹෙ රුව ද සිහි කරයි
තල තලා හඳුන් පොත

October 6, 2014

නෙතින් නෙත


නෙතින් නෙත අප ගැටුන දින දැනි හැඟුම් අද ඇත ඉහිරිලා
සුසුම් හෙලමින් කඳුළු දෙකොපුල් මතින් පැන යයි බේරිලා
සිතේ සිර ගත කර තිබෙන කවි එකින් එක ගෙන තෝරලා
ඇමිණුවත් කව් දමක් ඔබ හට අනේ අපි අද වෙන් වෙලා

ගතින් ගත එකිනෙකට දැවටුන මතකයන් අද තනි වෙලා
නුඹෙන් තොර වූ ලොවක අඳුරේ සිටින්නෙමි මම සිර වෙලා
පැතුම් ගොන්නක් සිතේ පොදි බැඳ තැබුව පය අද තද වෙලා
උන්නු මා මය වෙනස් වී නැත නැවති-නැත නුඹ පතාලා

විටින් විට සිත් මලට වට නෙක බඹරු බෝමැයි නිරතුරින්
එබව දැන දැන නුඹට ලං විමි බැඳ දහක් සිතුවිලි තුටින්
වෙනස් වේ යැයි නොසිතු සැම අද වෙනස් වී ඇත බෝ ලෙසින්
දතිමි අමතක කල හෙයින් නුඹ එකල තෙපලූ රස වදන්
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.