ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

October 19, 2015

කවි

කෙතරම් කවි ලීවත් මා ඔබ හට
කොමෙන්ටුවක්වත් නෑ ඔබගෙන් මට
කවි පොත් ගණනින් ලිව්වත් මා හෙට
දනිමී නො එනා බව යළි තුරුලට

October 11, 2015

බිනර මල

බිනර මලක් පිපී ඇතේ මා යන අඩි පාරේ
බිනර මහත් පහු වීලා වප් මහ දොර හැරුණේ
විසිර කැඩී ගියපු මනස එක්තැන් වූ වේලේ
බිනර මලකි අවාරයේ සුවඳ බලනු සිත්සේ

කොඳුර කොඳුර බිඟු කැල් නිති රොන් සොයමින් යන්නේ
දහසක් මල් මැද නිල්වන් බිනර මලකි උන්නේ
පෙති නොතලා පැණි බොන්නට බඹරුන් රොක් වන්නේ
නටුවෙන් නොකඩා මල සිඹ මා එතැනින් යන්නේ

October 8, 2015

සැඟවූ පෙම

හැකිවෙද දිනකදි හමුවනන්ට යළි
නුඹේ නුවන් යුග දකින අටින්
වසරක් වන් කාලයක් ගෙවී ඇත
නො අසා නුඹගේ වදන් ඉතින්
කෙදිනද නැවතත් හමු වන්නේ අප
ගෙවමි කල්පනා ලොවක සිතින්
මතකද තාමත් පලමු දිනේ අපි
නෙතගින් බැලුවා එබී හොරෙන්

මිතුරු බසින් අප දෙඩුවට බෝ විට
සිත පත්ලේ සිප ගතිමු නිතින්
නිතොරින් දකිනට හැකි නූනත් අප
මැවුවේ නින්දෙදි රුව ද සිතින්
අතිනත් අල්ලා ගත කෙරුවත් අප
දෙසුම් හලේ මුල්ලක සතුටින්
හැමදා අපගේ වෙන්නට ලැබුන ද
පවසා පෙම එකිනෙකා මුවින්

October 1, 2015

නුඹ නැති සාහිත්‍යය

තෙවසරක් ගත වීය පොත් සල්පිලට මා ඔබ කැටුව විත්
මමත් එහි ඇත පොතුත් යළි ඇත නමුත් නුඹ නැත මා පසින්
කිමිද බැලුවෙමි පුරුදු මුහුණක් හමුවෙනා තුරු පොත් මැදින්
පොතක පිටු මැද අතරමං විමි නුඹ ලියා ගිය කවක මම්

හදක් ඇති නම්

එදා හුන්
මෙදා නැති
ඇගේ රුව
මොට ද යළි

බදා ගෙන
සිතෙන් හරි
විඳවන්නෙ
කිමෙයි සකි

දනී නම්
නුඹේ ගති
සැලූ කඳුළැල්
නෙතිනි

හදක් ඇති
නම් ඈට
දුවන් එයි
නෙත් බරිනි

අරුත් සුන්
නිරුත්තර
පෙමින් ඇගෙ
මිදෙන් යළි

සොවින් තොර
සිරින් බර
පෙම් කවක්
ලියන් සකි

September 29, 2015

වීරයා ද දුෂ්ටයා ද?

හැමෝම ඔල්වරසන් දෙන
හැමදාම දිනන
පුරුදුකාර වීරයාට වඩා
පෙළක් වෙලාවට
හැමෝම රවන
කවදත් පැරදෙන
උඩු රැවුල් දුෂ්ටයාටත්
සුන්දර හදවතක් තියේවි
බැලුවොත් අතීතයේ
එළාරටත් දුටුගැමුණුවන්
බුහුමන් දැක්කුව බව,
පැහැරන් ගියත්
සීතාව රාවණ රැක්ක බව!

September 28, 2015

දොරට වැඩුම


දැන හුනිම් කුරුල්ලෙකු දොරට වඩිනා වගක්
නැගූවෙමි පියෙන් පිය දෙසට ඇසෙනා හඬක්
නිදහසේ තුරු වදුලෙ තටු සලන කුරුල්ලෙක්
නුඹ කියා දැන ගතිමි පිළිසඳර හැඬිල්ලක්

ගහින් ගහ මාරු වී එබී බැලුවෙමි මමත්
දොරට වැඩි කුරුල්ලා කව්ද කියලා යළිත්
මා දන්න මා සිතූ කුරුළු පෝතක තවත්
සිය දෙනෙක් මැද සලයි තටු විදා තුටින් සිත්

වට පිටේ කිචි බිචියෙ නුඹ උන්නෙ ගුලි වෙලා
පැසසුමෙන් සොම්නස් ව නිහඬව ම තනි වෙලා
නිමා විය කුරුළු සබ දෙහෝරා ගත වෙලා
කුරුළු හා තුරුලු වන්නට සැවොම ප්‍රිය කලා

නිදහසේ තුරු වදුලු කුරුළු හට අත වනා
රැස්ව හුන් කුරුළු කැළ වෙත කළේ යෝජනා
දොරට වැඩි මේ පුංචි කුරුළු පෝතක මනා
රැහේ මතු වැජඹෙන්න දිරි දෙවනු නිතැතිනා

September 23, 2015

යළි නොබලමි

කරනට හැකි නම් දියකර
කීමට සිර කර හුන් සැම
මුසු කර ගෙව් දුක් කඳුලට
හැකි වූවොත් නුඹ හමුවට

සිරගත කර ගෙව් දුක් කඳ
පසුවෙමි තනිකඩ දිවියක
අඳුරුයි එපිටින් ලෝකය
බලනා කල කවුළුන් හැර

ගෙන දෙයි පෙරදා මතකය
දකිනා පෙර මං අප ගිය
හැර දා ගිය ඒ මාවත
යළි නොබලමි කිසිදා මම

සරනට අත් වැල් බැඳගෙන
පවනට මුසු කර පෙම් සුව
යන්නට යන නුඹ දැක දැක
නගිනෙමි මත්තට පෝරුව

September 22, 2015

නුරා ගිණි හිස

කොපුල් පිරිමැද ලවන් සිඹිනට
පසක් කරනට බැඳුම සදහට
යහන් කෙළවර සැතපි පා යුග
රැඟුම් දේ රොන් උරණ කල මල

තබා සවනත තිසර අභියස
බලා රත් මුව දෙස ද පොපියන
නිවා දමනට නුරා ගිණි හිස
තලනු යුතුම ද බඹර කෙමියෙන

කලත් වියමන කොනක සිට හිඳ
නැතත් ඇඟලූ සේද පෙරමෙන
වියූ ගෙත්තම් ලිහන දිනයට
පමා වේවි ද කියනු මැන මට

August 17, 2015

සිතුවමකි ඔබ


අහම්බෙන් නෙත ගැටුනු නුඹ හට
වැටහුනේ නොවෙදෝ යමක්
එකම ගමනක යනෙන දෙදෙනෙකු
බවට හැඟුනේ නැති ද යම්
දුරක් පිය මැන මුහුණ ලා අප
හමු වුණේ නෙතකට නෙතක්
යන්න අවසර ඇති ද පෙරටම
ළංව අතැ'ඟිලි පටලවන්

තෙපුල එවදන් සිතේ රැව් දිනි
ගතවුනත් බෝ වෙලාවක්
නොසිතු විලසින් නිහැඩියාව ම
බිඳුනි දුටු කළ නුඹ වදන්
සිතට හෙමිහිට ටිකෙන් ටික යළි
ලං වෙනා සුන්දර හදක්
මහද අසලදි නැවතිලා මදකට
සලයි සැනසුම් සුසුම්

එකුන් සොළොසක් මාස් දා ගිය
අමිහිරි ම මතකෙන් බිඳක්
මකා දා ඇත තවත් මැකුමට
ඉතිරි වී ඇත මතකයක්
එන්න මා වෙත යන්න පෙරටම
මකාලා කළු පැල්ලනුත්
අඳුරු සිතුවම් මැවූ සිත්තරු
අඳින තෙක් නව සිත්තමක්

May 6, 2015

වෙන් වූ මේ දින

වසකට පෙර අප වෙන් වූ මේ දින
මතකද නුඹ හට කිසිවිටෙකත්
සයනේ වැතිරී කඳුළු සැලූ මා
සනසනු නුඹෙ නොම වීය තැතක්

වැටහුනි වරදක් සිදුවී ඇති බව
දුකක සෙයක් නොතිබූ නුඹගේ
යන්නට කාලය එළඹී ඇති බව
වටහා ගත්තෙමි නෙතු තෙමමින්

කීවත් මුස'බස් හැර යන්නට පෙර
සනසනු වස් මා වෙන් කරමින්
දුක් වූවේ නැත නොමනා කම් දැන
වෙනකෙකු සනසන බැව් දැනුනේ

වසක් ගෙවී ඇත බසක් දොඩා නැත
බොහෝ දිනක් අප ඉන් මත්තේ
සිතක් තැලී ඇත ගතත් දැවී ඇත
සුව නොවෙනා කැළැලකි ඇත්තේ

මවෙත හමා එන සිහිළැල් සුළඟේ
නුඹගේ සුවඳැල් මැකී ගොසින්
එනමුත් ඔබගේ සුවඳ විඳින්නට
තවමත් මා හද ලතැවෙන්නේ

April 22, 2015

මිලින වූ මල් යලි පිපේවි ද?


මලක් වී සිටි මෙ මා නුඹ හට
පරව ගොස් ඇත නොගිලිහී තව
දියක් ලැබුන ද යලිත් නැගුමට
මිලින වූ මල් යලි පිපේවි ද?

දොසක් නෑ තව තවත් කියුමට
බසක් නෑ තව වැකුනෙ මා කන
පසක් කරනට දුරස් වූ බව
වසක් ගෙවුන ද නොවේ වැටහුම

යදම් ලා ඇත මෙ මා හද වට
හුදෙකලා වූ ලොවක තද කර
රුවක් නැත තව තවත් මැවුමට
නුඹ ම පමණකි ඉතුරු පැතුමට

April 21, 2015

ජීවිතය

ජීවිතය,
නුඹ නැතිව
තනිකඩව
ඉකි බිඳියි
නිරතුරුව
ජීවිතය...

ජීවිතය,
නුඹෙ සුවඳ
නොදැනීම
වියකිලා
බිම වැටෙයි
ජීවිතය...

ජීවිතය,
නුඹෙ පහස
ගත පුරා
නොගැවසී
නිදි වදින
ජීවිතය...

ජීවිතය,
නුඹෙ වදන්
සවන වෙත
නොවැකී ම
බිහිරි වූ
ජීවිතය...

ජීවිතය,
මගෙන් තොර
අන් පහස
නුඹ විඳින
මා පෙළන
ජීවිතය...

ජීවිතය,
ඉහල ගෙන
පහල ලන
හුස්ම පොද
නුඹට පිදු
ජීවිතය...

April 15, 2015

නොලැබුනත් මට

නොලැබුනත් මට නුඹේ උණුහුම
දුරින් සිට හෝ දකිමි නුඹෙ සැම
දිනක් වේ නම් ලැබෙන සැනසුම
ලංව නුඹ හට කරන්නට පෙම

දුටිමි නුඹෙ රුව කලක් ගතවිද
වෙනස් වී නැත පළමු දින සිට
නුඹෙ නුවන් නා කොපුල් ලවනද
විඳින්නට ස්පර්ෂයෙන් මා අත

අහිංසක ඒ නුවන් යුග පිරි
මුව පොවුන් මෙන් පිරී තිබු සිරි
එ'මේ අත දුව පැනපු නුඹ සරි
සොරා ගත්තා මහද හරි හරි

දොඩන්නට බස් පොරොත්තුව සිටි
පතන්නට සුභ පැතුම් අටියෙනි
පිළිතුරක් ලද සැනින් නුඹගෙනි
දොඩනු වස් මා අවධි වූයෙමි

අතට අත දී වදන් තෙපුලන
දිනක් නුදුරේ උදා වන්නෙද
එතෙක් මා මග බලා සිටිනෙමි
නුඹෙන් වදනක් ලැබෙන තුරු යලි

March 11, 2015

නුඹ ම පතමි

සිහිනෙන් මා නුඹ දකින තුරා
නෙතගට කඳුලැල් නැගෙන තුරා
සිතනෙමි නුඹ ගැන රැයක් පුරා
යලි'විත් සංසිඳුවතැ'යි නුරා

යදමින් බැඳි මා නුඹේ පෙමින්
දුරකට පියඹා ගියෙ-කෙලෙසින්
කෙදිනක හෝ පැමිනෙ'තැයි සිතින්
කඳුලැල් දාරා සැලෙයි නිතින්

නුඹෙ රුව බස සිහිවෙනා තුරා
නුඹෙ උණුහුම් නොලැබනා තුරා
වෙනකෙකු හට සිත යනෙන තුරා
නුඹ සොයනෙමි මා දසත පුරා

කීව ද සොයනට අන් අයෙකුන්
නුඹ අමතක කර කල් ගෙවුමන්
නැත නුඹ වන් මේ ලොව අනෙකුන්
නුඹ ම පතමි යන තුරු සසරින්

March 10, 2015

මා නොලබන ආදරය

ආදරය,
මට නොලැබෙන ම දෙය
දැනෙන්නට නම්
එක ම අයෙකුගෙන් ම මා
බලාපොරොත්තු වන දෙය

දැක්මට රුචි එක ම රුව
ලං ව හිඳ දුරස් වූව ද
වැපිරූ ආදර බීජයන්
ඵල දරන කල්හි, සුන් වූ කෙතෙහි,
තවමත් නුඹ නමින් පූදින
ආදර ඵල නෙලමි මම

අස්වද්දනු වස් 
නුඹ සමග නැවතත්
තනි වී සිටිමි එ'කෙතෙහි
මා නොලබන ආදරය
නුඹෙන් ලැබුමට
මා...

February 23, 2015

නුඹේ නව හිරු


යොමා හුන් නෙතු දසත ඉඳ ඉඳ
යොමු වුනිය එක් නෙතක් ඔබ වෙත
සිතුම් අසපුවෙ තනිව හුන් මම
හුදෙකලා විමි යලිත් ඒ තුල

නැතත් එක් වන අදිටනක් මට
නැවත නුඹ හා නොදැක ඉදිරිය
නමුත් හිත තුල සැඟව හුන් හැම
දෝර යයි සැණ දුරස් වන විට

යදම් අප'තර තිබූ සවි බැඳ
බිඳුනි ඔබෙ හිත් එකළු වූ කල
දුටුව විට පෙම් ලොවක් ඔබ වට
බිහි කරන මලවියෙකු සැබැවින

මවනු හැකි වෙද රටා තුන්පත්
අසනු රිසි වෙද නොදනි මා නම්
දිනෙක යලි හමු වුවොත් අප යම්
සිතනු මැන නොකරමින් තනියක්

නව හිරෙන් සෙත් ලබන නුඹ හෙට
පිබිදෙනා කැකුලකිය මා හට
ඒ මලේ රුව දකින අටියෙන
හැකිද එහි සෙවනැල්ල වන්නට?
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.