ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

October 26, 2014

හන්තාන කඳු වැටිය

"හන්තාන කදු වැටිය
එදා වාගෙයි අදත්"

සියොලඟ ම කිළිපොලන
හැඟුම් දෙන මේ ගීය
ඇසෙන හැම විටක දිම
සිහි නැගෙයි අතීතය
හන්තාන අහියස දි
ඇරඹි ඒ පෙම් ගීය
කොළඹ දී දෙකඩ වී
දුන් වියෝ දුක් ගඟුල
නොකඩවා ගිලිහෙනා
කඳුලු බිඳු තර කරන
නුඹෙ රුව ද සිහි කරයි
තල තලා හඳුන් පොත

October 6, 2014

නෙතින් නෙත


නෙතින් නෙත අප ගැටුන දින දැනි හැඟුම් අද ඇත ඉහිරිලා
සුසුම් හෙලමින් කඳුළු දෙකොපුල් මතින් පැන යයි බේරිලා
සිතේ සිර ගත කර තිබෙන කවි එකින් එක ගෙන තෝරලා
ඇමිණුවත් කව් දමක් ඔබ හට අනේ අපි අද වෙන් වෙලා

ගතින් ගත එකිනෙකට දැවටුන මතකයන් අද තනි වෙලා
නුඹෙන් තොර වූ ලොවක අඳුරේ සිටින්නෙමි මම සිර වෙලා
පැතුම් ගොන්නක් සිතේ පොදි බැඳ තැබුව පය අද තද වෙලා
උන්නු මා මය වෙනස් වී නැත නැවති-නැත නුඹ පතාලා

විටින් විට සිත් මලට වට නෙක බඹරු බෝමැයි නිරතුරින්
එබව දැන දැන නුඹට ලං විමි බැඳ දහක් සිතුවිලි තුටින්
වෙනස් වේ යැයි නොසිතු සැම අද වෙනස් වී ඇත බෝ ලෙසින්
දතිමි අමතක කල හෙයින් නුඹ එකල තෙපලූ රස වදන්

September 27, 2014

කලු පාට අහසකට මොකට දුන්නද සදක්

නුඹෙ කොපුල් සිඹ ගන්න අවදි විමි සිය වරක්
හිරු එළිය මියැදෙද්දි නුඹ ගියා මහ දුරක්
කලු පාට අහසකට මොකට දුන්නද සදක්
ඒ අහසෙ තරුවක්ව ඉන්න නැති නම් ඉඩක්

අද මම් තනියම

හැමදේම එපා වුන 
ලෝකෙක
අද මම් ජීවත් වෙනවා 
තනියම
ගොඩ නගන්න අනාගතයක් 
නැතත්
කඩා වැටි බලාපොරොත්තු 
පොදි ගණන්
එකින් එක දිග ඇර ඇර, 
මම මටම
දුක් දෙන ගමන් 
අතීතය අමතක කරන්න
කඳුලු බිංදු හලනවා 
හැමදාම
ඒවායෙන් තෙත් වෙන 
බිමේ
අනාගතයට යන 
පාර කපන්නට

August 28, 2014

ඔබ නිහඬයි

ඔබ
අද නිහඬයි
සැප දුක විමසූ ඔය මුවින්
අද වෙනකෙකු සිප ගද්දී
මම
නිහඬව ම
ඔබ සිපගත් මගෙ මුවින්
කඳුලැල් රස විඳිමි
තනිවම
සිව් මසක් මුළුල්ලේ
නැත
තවමත් අමතක
ඔය සිනහව ඔය කටහඬ
දෝංකාර දේ
තෙපුල් වදන්
අදටත් සිහිනෙන්
රෑට

August 19, 2014

සිතින් හමුවෙමි අදත් මම ඔබ

වසා කවුළුන් තිබූ අප'තර
නසා දැකුමට තිබූ පරතර
තලා මා සිත තිබූ ඔබ වෙත
කලා පිට'කෙකු පෙළා මා හද

වැසූ මා නෙත් ඔබෙන් වෙන් කර
සදා බැමි පිට බැමි ම අප'තර
කලා නෙද ඔබ තුටින් සිතු සැම
නුඹෙන් වෙන් කර මාව සදහට

දුරින් වසනට කලත් වෑයම
ලඟින් හිඳිනට සිතයි මා හට
නොදත් කල ඔබ සිටින තැන අද
සිතින් හමුවෙමි අදත් මම ඔබ

තුරුල් වන්නට නුඹේ දෑතට
සිතින් හැකි නම් පියවි ලෙස මට
නුඹේ ළමැදේ සිටින අන් අය
කරයි මා සියොලඟ ම අඩපණ

යන්න පෙර අප පැතූ දේසෙට
හැකි වෙනම් හමු වන්න වරකට
තුරුල් කරගෙන කියමි ඔබ හට
තුණුරුවන් රැක දෙන්න නිති නුඹ

Wind of Pain

Let the pain go away with the wind,
but the wind braces me with the scent
of the paths we walked and spent
Neither wind nor you ease the pain

May 15, 2014

කියු මැන ඔබ හට (Aashiqui 2 - Chaahoon Mein Ya Na)

කිව මැන ඔබ හට ආලේ
කරනෙම්දෝ කියා...
හද නුඹ කියනුද ආලේ
කරනෙම්ද කියා...

ඔබ හට මා කියනෙම් මෙලෙසේ
හද තුල බැඳි සුවිසල් ප්‍රේමේ
දමනු නොහැක සදා...
එනමුත් හද විමසයි ආයේ
මුණ ගැසුමට සිත් දේ විගසේ
නුඹෙන් අසමි මෙදා...

කිව මැන ඔබ හට ආලේ...

මෙසේ පෙර දිනේ - නොම වීය පැතුමන් සිතේ...
නොවූයේ සිතුම් - හමු වන්න කිසිවකු මෙසේ...

පැටලුම් හැර පවසන්
පෙම් කරම්දෝ කියා
දෑසින් බලා මට පවසන්
පෙම් කරම්දෝ කියා

මා සිත රැඳි සිහිනයන් - එහි සරන ගීතයන්
ඒ ගීත ප්‍රේමයෙන් - ජීවය ලබන්නේ...
ඔබ නැති ඒ සිහිනයන් - නොදකිමී මා යළිත්
හරිනෙමී මා දෙතොල් - නිහඬ බව රැඳි මෙතෙක්...

මා මෙන් නොව ඊටත් බෝ සේ
හද ඔබ අදහාලයි මෙලෙසේ
සදා විශ්වාසෙන්...
මා තනි වූ මොහොතක් පාසා
සිතුවේ මා ඔබවයි සැමදා
ඔබෙ පෙමින් වෙලිලා...

නැවත නොඅසම් කිසිදා - පෙම්
කරම්දෝ කියා
ඔබෙ සිහින තුල සිටුමන්
හැකිදෝ කියා

කිව මැන ඔබ හට...

May 4, 2014

තනි වූ මා

තනි වූ මා හට පිළිසරණක්
නැති වූ දා මා හට නැවතත්
සැලුවා වූ කඳුලැල් දහසක්
නැති වූ දා සිට නුඹ නැවතත්

කල පෙම් මදි බව නොම දනිතත්
රැක්කේ ඔබ මා මෙන් දෙනෙතත්
සිටියේ රැඳෙමින් ඔබ අසලත්
විටින් විටේ කඳුලැල් සැලුවත්

වෙන් වන බව මා නැත සිතුවේ
මිමිණුවමුත් ඔබ නිති මුවිනේ
වාවනු හැකි වෙද මින් මතුවේ
ඔබ ලඟ නැති බව මා දිවියේ

විටින් විටේ දැවුනත් ගින්නෙන්
ඔබෙ නොරිසුම් හැසිරුම් දැකුමෙන්
මින් මත්තට දැවෙනෙමි නිතොරින්
මියෙනා තුරු නුඹ නොමැති සොවින්

April 18, 2014

මනුස්ස හරක්

උම්බෑ කී විට පමණක් දත හැකි
මිනිසුන් ඇත මේ ලොව සරකුන් වැනි
වැසි කට හැරි විට එය සැල වෙන හැටි
දෙනෝ දහක් හට එය දකිනට හැකි

January 16, 2014

සෙවණැල්ල

තමා හිසට තම අතමය සෙවණැල්ල
අනුන් අතින් ලැබෙතොත් නැත සැනසිල්ල
තමන් අතට අනෙකෙකු දේ නම් එ බල
සැපතින් මඳය සිටියොත් යට ඒ වහළ
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.