යලි පියමනිම් ආ මං පෙතේ

හදවත දනී යා යුතු මග කිමැයි කියා
ගැස්ම හදේ යොමයි එමග දෙසට මෙමා
නුරා දෙනෙත් පියා මදෙස බලනු කියා
එවිට පෙනේ ඔබෙ දිවි හිමි මමය කියා

මතකද නුඹට අත් අල්ලන් මැවූ මැවුම්
මහ පාරේ එහෙ මෙහෙ අත ගැසූ රවුම්
මතක සුවඳ වැඩි කරවන සිහින ඉසව්
පසු වන හැම විට සිහිවෙයි නුඹෙ සිතුවම්

මා පැලඳවු රිදී මුදුව අතැඟිලි මැද දිදුලන්නේ
එය දකිනා හැම මොහොතෙම හද ආදරෙ මෝරන්නේ
සඳළුතලෙන් බසිනා කුමරියකගෙ හැඩ දැක ලොබිනේ
ඇවිත් මවෙත ආලිංගන පා නලලත සිප ගන්නේ

ලියූ කවිය මතකද මා අරන් දුන්න මුල්ම පොතේ
වත්සල දිගැසිය නම් ඔබ පෙම් කළ ඒ ප්‍රේම පොතේ
ලියුවෙමි අවසන් පිටුවේ මා දිවි මුල් කවිය එසේ
නුරා කඳුලු සුසුම් හසිරු නම් විය ඒ කවි ගොමුවේ




Comments