නුඹ නුදුටු මගේ මතකය

අටළොස් මසක් ගත විනි ඒ දිනේ පටන්
ඇරඹුණු දා පසුගිය වස දුරුතු ඉඳන්
සොළොස් මසක් ගත වූ තැන දිනේ පටන්
දෙමසක් ගත විය වෙසඟේ පොහොයෙ ඉඳන්

හිතුවා යන්ට නුඹ සමගින් පන්සලට
වෙසඟේ සිරිය නරඹන්නට කොළඹ වට
එය බැරි වුනා සපුරන්නට නුඹට මට
යන්නට ගියා නුඹ මා හැරදා දුරට

උපන් දිනේ විය මාගේ මැදින් මස
කීවා නුඹත් ගත් බව තිළිණයක් මට
එය දැක ගන්න ආසාවෙන් හිටිය මට
ලැබුණේ දුකකි තිළිණයකින් වෙසක් මස

වෙසක් මහේ තිබුණේ නුඹෙ උපන් දිනේ
බෝම තිළිණ දුන්නා මා ගිය වසරේ
දෙන්න තෑග්ගක් නුඹ හට මෙවර සඳේ
නොමැති වීය සතයක්වත් මගේ අතේ

ලෝබකමක් නොව මා හට ඇති වූයේ
නුඹට දුන් නිසයි මා සතු පනම් අතේ
හේතුව තිබේ නුඹෙත් මගෙත් සිත් ඇතුලේ
තිළිණ නුදුන්නට තරහා නොවෙන් ප්‍රියේ

දෙමසක් පිරිණි නුඹ නොමැතිව මගෙ දිවියේ
වෙන අන් අයෙක් හට මා සිත දිව නොගියේ
නුඹට බැඳි පෙමයි එය වලකා ලූයේ
ඉන්නෙම් තනිව මා නුඹ සිර කරන් ලයේ

Comments