වහල් කවි

සොරකම් කල ද සිත්ගත් රජ මැතිඳු වෙතයි
තෙද බල ඔබේ සැම පවුලෙ ම කුස පුරවයි
හිස් වුව නිවස සන්තානයෙ දිළුනෙ ඔබයි
අපට නැතත් ඔබ නිති වැජඹෙනු නියතයි

සයිකල ආටා බස් දුම්රිය සැපත අපෙයි
සිසිල් සැප අසුන් රිය නිති ඔබට කැපයි
සිතුමට කිසිත් නැත ඔබ මග අප ගානෙයි
වඩිනු කර පයින් සනහා සැක කිමදැයි

කිඹුල් කඳුලු සලනුව අප සලිත කර
වාවනු නොහැක දනිතත් නැති බව අදර
ණය කඳු උසුලමින් ගෙනයමු මතින් කර
ගැසුව ද රටට හෙණ ඔබ වේ අප ඉසිර

සත්‍යය පමණි ඔබ දෙසුවේ සැම විට ම
අන්‍යන් නිතොර මඩ වැසි වැස්සුව ද හැම
සතෙන් සතය මඩි තර කර ගමි තව ම
ඔබේ දියුණුව ම යුහු කරවන්න මම

අන් සැම කලේ රටට ම වින පෙර සමයේ
ඔබෙ කැල පමණි විශ්වාසය මේ භවයේ
පාරම්පරික අටුවේ ධන කන අටියේ
දරු මුණුපුරු ද නටවමි ඔබෙ කතිරයේ

දුදන දනන් දෙසතත් දොස් ඔබ නමට
දවම් වැර දමා න්‍යායන් නැති ලෙසට
හිස්ගෙඩි වැළපුණත් කුසගිනි ඇති කලට
මියෙම් ආවොතින් උණ්ඩය ඔබෙ ළයට

Comments