අසයි බුදුවරු

අසයි බුදුවරු පතා මේ ලොව යමක් ලැබුවෙක් වෙතොත් නම්
කාට කුමකින් අඩුව වේවිද සිව් කොනේ ලොව එසේ නම්
ගසා සීණුව සලා පැන් කළ තබා හිස කඳ පතයි නම්
අගරු නොමවෙද බුද්ධ වචනෙට පැතුම ලෞකික සැපක් යම්

හරින්නට අත් යමක නොබැඳී දුකින් මිදුමට දිනක යම්
සැප ම ඉල්ලති හෑම මොහොතෙ ම බදාගෙන කර ලෝබ කම්
අසයි බුදුවරු සැපක් ලැබුවෙක් වෙතිද මසුරුව ගොඩගසන්
එතෙර වෙන්න ද සසර ගමනෙන් එකතු කරනේ පොදි බැඳන්

යදින පමණට දෙවොල් රුක් යට ඇසේ නම් දෙව් බඹුන්ටත්
තැවෙන තරමට දනන් සිව් දෙස රත්වෙ නම් සක් පඬුපුලත්
වසා දොරටුන් නැති ලෙසේ කිසි තෙතමනක් හිත් වල තවත්
තිදොස් කර බැඳ යාම සුදුසු ද අසයි බුදුවරු තව තවත්

Comments