මුකුලිත ප්‍රේමාත්මාර්තය

සියක් නෙතු නිති ගැටෙන හමු වල - පුරුදු දෙනෙතක අඩුව දැනුනා
ඔපය පෙම්බර නෙතක සරි කල - එනෙත් වල මලින වී තිබුනා
සියක් පෑ බෝ දෙනා දෙඩු කල - සිතට බෝ හිස් කමක් දැනුනා
විටින් විට අප දෙඩූ කල් වල - හැඟුම් දෝරේ ගලා තිබුනා

සියක් නෙත් පිනවනා තරමට - සරාගී රූ නුඹට තිබුනා
එනෙත් කදිමට උමතු කරනට - සරාගී කිම වුනේ හිතුනා
සියක් දෙන නුඹ ගොදුරු කරනට - හෙලන බැල්මට බයක් දැනුනා
රාග ගින්නෙන් දවාලන්නට - මාන හැටි දැක හිතත් රිදුනා

බැඳුම් දෙනුවර සපථ කරනට - තිබූ සිව් බැමි අහිමි කරනා
හුදකලා වී ගෙවන හැඟුමට - පවුරු අද අප අතර තැනුනා
දුරක් ඉගිලී නොයන ලෙසකට - තටුත් මා කැපුවෙදැයි හිතුනා
බහක් නොලබ ම දුරස් වන විට - සමාවක් මට නැති ද හැඟුනා

ගතින් ලං වී පෙමින් බැඳුමට - අත්සනක් ඕනෙදැයි හිතුනා
හිතින් වෙන් වී ඉන්න තරමට - මෙමා සල්ලාලදැයි දැනුනා
නිතින් නුඹෙ රූ හිතේ පමණට - මවා තනියම කරන වරුණා
යලිත් පෙර අප ගෙවූ කාලෙට - නොයේ යැයි හිත හදත් සැලුනා

Comments