ගිමන් හල

ගිමන් හල නුඹෙ නැවති මා හද
ඇඟිලි බැඳ කල වියමන
සුසුම් වට අපෙ ළයෙහි දා බිඳු
දවට මතු කල සිත්තම
වදන් ගොනු කර ලියමි පද වැල
පෙමට දළු ලන දින දින
කවක් හද බැඳ මවමි පැල් බැඳ
සිහින සම කල ගෙත්තම

නුඹත් තව තව ලංව දිවියට
කරන ඇවටිලි කෝල කම්
දිනක් නෑර ම එන්න දැඟලුම
හිතට නගමින් ලෝබ කම්
තවත් නුඹ ලඟ ඉන්න අහමින
කරන පැමිණිලි ඕන නම්
වයන් මල්සර ලියන පෙම් සර
කදිම කරනට හාද කම්

පවන් සලමින ළය හොවාගෙන
ඉන්න දොඩමින් ආල බස්
වතින් නලලත පහස විඳමින
ලවන් ඇමුණුම් කරනුවස්
දුරින් හිඳිමින දෙස බලාගෙන
නුඹෙන් සිරගත වූ දවස්
ඉතින් සැරසුම පැතුම් පොදි බැඳ
යන්න අපමණ ගව් සහස්

Comments