ගාලු මුවදොර

ගාලු මුවදොර කොනක හිඳ මම
බසින හිරු දෙස නෙත් අයාගෙන
බිඳෙන රළ හඬ පරදවන ලෙස
හද හැඬෙව්වා නෙතග තනියට

නුඹට තනිවම පෙමින් බැඳ මම
නුඹට කරදර කලා නිතරම
මගේ ඇසුරෙන් මිදෙන කොට නුඹ
කඳුළු වැඩියා නෙතග තනියට

අඳුර ටික ටික සයුර වෙලමින
පොහෝ සඳ නැග ඒවි හෙමිහිට
මගේ ලොව වෙලනා මෙ අඳුරට
නුඹ ය පුන් සඳ එළිය ගෙන දෙන

සත් වසක් පෙම් නොකල මා හද
නුඹේ ලෙන්ගතු කමට මුදු විණ
නුඹෙත් මාගෙත් දෙහිත් මුහු වන
තුරා දිවි තුර බලා ඉමි මම

ගාලු මුවදොර ඇවිද යන්නට
නුඹේ කර වට අත දමාගෙන
දුටුව හීනය බොඳ වුනාව ද
විමසු සයුරත් නිහඬ විය අද

සයුර දනි නම් හැඬූ තරම ද
බිඳෙන රළ හඬ පරදනා ලෙස
නුඹේ ඇසුරෙන් ගිලිහෙනා විට
නෙතග තනි නෑ තවත් මතුවට

Comments