නුඹේ වන් හිත්

දනිමි නුඹගේ කෙරුම් පෙර කල බොහෝ සිත් රිදවමින් කරලූ
නුඹෙන් බිඳි හිත් වී ය අමතා විටින් විට මා දෙනෙත් පෑදූ
මා ද නුඹ හට වුනැයි ඉත්තෙකු දැනෙන කල මා කිසිත් නොහිතූ
නුඹත් දුර්දන ගතින් වසනා සොබන රුවකැයි නොවිනි හිතලූ

නුඹේ චරිතය නුඹ ම දනිතැයි සිතා මා මතු දුරක් යන්නේ
කල කෙරුම් වල දිගත් පළලත් නුඹට දැනෙතැයි මා හිතන්නේ
අහෝ අතිනත් අරන් නවතින තැනට හෙණයක් වේ ද නොදැනේ
නුඹේ දඬුවම් නුඹ ම දැනගෙන පසු තැවී දිවි ගෙවන් ඉතිනේ

නුඹේ ගැලවුම්කාර වන්නට කිසිත් මින් මතු හිතක් නැත්තේ
අගේ නැති තැන දොසක් කියමින කිමැයි මා තව නුඹේ මත්තේ
දොසක් නෑ මතු නුඹට කරනට මම ය ඇවිදින් වැටුනෙ විපතේ
එය ද නොදනිමි හේතු සිත්තම් නොදී මට නුඹ කලක් ගත්තේ

ඉතින් මීලඟ නවාතැන හිමි හදට යන්නට ඇඟිලි ගැන්නෙ ද
තවත් හදවත් පෙළක් මියෙනට දමා යන්නට නුඹත් ඉන්නෙ ද
රුවක් තිබුනට හදක් නැති තැන පෙමක් කිසි විට පිපෙන්නෑ නෙද
නුඹේ වන් හිත් විසින් කා හට දුකක් වන්නට නොපතමී අද

Comments