පෙම් කලේ මම

සයනෙ සිහිනෙට පෙමින් බැඳිලා -
නොවේ නුඹ හට පෙම් කලේ මම
දෙහෝරාවක පහස විඳුමට -
නොවේ නුඹ හට ලං වුනේ මම
කිඹුල් කඳුලැලි සැලීමට නොව -
තනිව නුඹ හට පෙම් කලේ මම
හුස්ම වැටෙනා තුරා නුඹ හා -
දිවි ගෙවන්නට ලං වුනේ මම

අවන් හල් මහ ගොඩක යන්නට -
පමණි නොව පෙම් කලේ නුඹ හට
නුඹෙන් කා බී කල් මැරීමට -
නොවේ කිසි විට ලං වුනේ මම
හදට ලං කර හිස ද පිරිමැද -
ඉදිරි ගමනට සෙත් පතා මම
දෑස් පාදා පොළොවෙ සිටුවා -
ලන්න පෙම් බැඳ ලං වුනේ මම

නුඹව සදහට හිමි නොවේවි ද -
කියා නොසිතා පෙම් කලේ මම
බඹර රෑණක බැල්ම වැටෙනා -
මලක් බව දැන ලං වුනේ මම
ගොහොරු විලකින් පිපී නැග එන -
තඹරයක් වන් කරන්නට නුඹ
නුඹත් නොදකින නුඹේ අගයට -
මුදුන් ලසු බැඳ පෙම් කලේ මම

Comments