නුඹට මතක ද?

නුඹට මතක ද දිනක් මා නුඹෙ ගම ඇවිත් ගිය වතාව
තිළිණයක් කර පිනාගෙන මහ දුරක් ඔහෙ ආ කතාව
සීත කඳුකරෙ ග්‍රෙගරි වැව ඉස්මත්තෙ හමු වූ සැඳෑව
නුඹව වැළඳන් නොලැබි ආලෙට කඳුළු වැගිරූ වෙලාව

නුඹට මතක ද මගෙන් කාලය ඉල්ලු ඒ දින දසාව
බිඳුනු හදෙහී මියුණු හැඟුමන් යලි උපද්දන සෙයාව
එහෙත් මා හැර අන් රුවක් වෙත නුඹේ හිත ගිය කලාව
නුඹේ පසෙකින් හිඳන් රථයේ කඳුළු මා සැලු වෙලාව

නුඹට මතක ද හිතේ නොසතුට නුඹේ වූ ඒ වතාව
මට ද නුඹගෙන් වෙන්ව යන්නට තරම් පැරදුනු වෙලාව
නුඹව හමු වී නුඹට පෙම් නොකරන්න මට කී වතාව
නුඹව වැළඳන් නුඹේ පිට මත කඳුළු අත හැරි නිශාව

නුඹට මතක ද උපන් දින මගෙ හමුවෙ නුඹ පෑ සිනාව
මගේ රුවෙ සිතුවමක් කර මට තිළිණ කල ඒ වෙලාව
රැයේ නුඹගේ නවාතැන නෙත්බරව නුඹ පැතු කතාව
වැළඳ මා මගෙ කඳුළු පිස නුඹ පෙම් කරමු කිව් සැඳෑව

Comments