ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

July 24, 2020

දිදුලනා සඳ තුටින් නික්මිණ

මතක මංසල වසා දමමින
වියෝ ගින්දර නිවා දමමින
යශෝරාවය දියත නගමින
දිදුලනා සඳ තුටින් නික්මිණ

එදා හුන් සැම දෑත සවිකර
මෙදා උන් සැම නිදයි අපතර
සදා උන් අප ගොසින් අතහැර
එදා මෙන් ගම වේ ද විසිතුර

නෑසියන් ඇත එකතු වී අද
දුර ගමන් ගිය කලට පිය සඳ
සයුරු පැන දැක ගන්න සොඳුරද
පිය මනින්නට වේ ය වෙර බැඳ

බෝ කතුන් බෝසත් වෙසින් නිති
මං සදා මං මුලා වූ ගති
පාදවා පෙර මං යැවූ වෙති
කර සදා දීපයක් අරුමැති

July 17, 2020

සත්‍යයේ පන්හිඳ

නිදි වැරූ පන්හිඳට නැත කිසිත් විඩාවක්
එනමුදුව හිමි කරන නොවිමසූ කෙළවරක්
ඇත උනුන් හට කැපෙන පද ගෙත්තමින් බියක්
නිහඬව ම වියැකේ ද යුක්තිබර පන්හිඳක්

ගිගුම් දේ වා තලෙහි පියසැරූ භස්මයන්
ගැඹුරු තැන් වල සැඟව යයි නොකි-කතාවන්
පොලු මුගුරු ගෙන තැලූ සඳුන් දර වගාවන්
වියැකුනෙ ද ඒ සුවඳ දවපු හැම වාරයන්

රට කරනවුන් රුපුන් වී එතිය ආරුඪෙන්
චාරයක් නැති කලට බැට කමින පන්හිඳෙන්
යුධ වදින දැසි දසන් වැකි ගොතයි සීරුවෙන්
තුඩු සිඳා බොන කලට පන්හිඳේ සාරයෙන්

May 31, 2020

නික්ම යාම

ගතින් නොබිඳුනු සිතේ පබැඳුම
හදේ නොනැසෙන පහන් සිල නුඹ
එළිය කර ලොව තනිව යන මග
ඉකි නොබිඳ පෙර මගට එමි මම

සඟව ගත් ළය රහස කිමවෙද
න'සමි දැවුන ද නොම කියූවද
නොයෙන මං යා යුතු ද නික්මව
මගක් පිය මැන මග ද හෙළි කර

නෙතක් නව හද ගනී පිළිසිඳ
නව දියෙහි බට අසිරියෙන් නුඹ
දකිම් සෙවණැලි සෙවණ වූ මෙන
පෙරට සෙවණක් සදන වග මග

ඇසක් සතු බව පසක් කරනට
අණක් දුන් සැම දොසක් හැරුමට
යසෝනාමය අගය කෙරුමට
යළි නොඑන්නෙ ද ශිල්ප දැකුමට

පිය මනින්නට ඔවා දුන් කල
නුදුටු දොරගුළු හැර බලන්නට
දෑත අබියස තබා යන රුව
කැඳව සිහි කියවනෙමි ලොව නව

May 4, 2020

වහල් කවි

සොරකම් කල ද සිත්ගත් රජ මැතිඳු වෙතයි
තෙද බල ඔබේ සැම පවුලෙ ම කුස පුරවයි
හිස් වුව නිවස සන්තානයෙ දිළුනෙ ඔබයි
අපට නැතත් ඔබ නිති වැජඹෙනු නියතයි

සයිකල ආටා බස් දුම්රිය සැපත අපෙයි
සිසිල් සැප අසුන් රිය නිති ඔබට කැපයි
සිතුමට කිසිත් නැත ඔබ මග අප ගානෙයි
වඩිනු කර පයින් සනහා සැක කිමදැයි

කිඹුල් කඳුලු සලනුව අප සලිත කර
වාවනු නොහැක දනිතත් නැති බව අදර
ණය කඳු උසුලමින් ගෙනයමු මතින් කර
ගැසුව ද රටට හෙණ ඔබ වේ අප ඉසිර

සත්‍යය පමණි ඔබ දෙසුවේ සැම විට ම
අන්‍යන් නිතොර මඩ වැසි වැස්සුව ද හැම
සතෙන් සතය මඩි තර කර ගමි තව ම
ඔබේ දියුණුව ම යුහු කරවන්න මම

අන් සැම කලේ රටට ම වින පෙර සමයේ
ඔබෙ කැල පමණි විශ්වාසය මේ භවයේ
පාරම්පරික අටුවේ ධන කන අටියේ
දරු මුණුපුරු ද නටවමි ඔබෙ කතිරයේ

දුදන දනන් දෙසතත් දොස් ඔබ නමට
දවම් වැර දමා න්‍යායන් නැති ලෙසට
හිස්ගෙඩි වැළපුණත් කුසගිනි ඇති කලට
මියෙම් ආවොතින් උණ්ඩය ඔබෙ ළයට

July 25, 2019

හතර වරිගය

හතර වරිගයක්...
එතෙර කරනට සසරින්
ඇතුල් නොකරන් පැවිද්දට
හය හතර නොමදත්
අහිංසක කිරි සප්පයින්
ඇති කලෙක දැනුම් තේරුම්
රකින්නට සාසනේ
ඉඩ සදා දෙන් ළමුන්ගේ
සසර පුරුදු ආසාවට
නොඋදුරා ළමා කාලය
ලෝභ වී නිවනට...
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.